Thursday, May 21, 2015

ජීවතේ ජීවත්වෙන්න



මනුෂ්‍යයෙක්ට තියෙන්නේ තවත් මනුෂ්‍යයෙක් ගැන අසීමිත ආකර්ෂණයක්, ආදරයක්, ඇබ්බැහියක්. අන් කවර ආකාරයක් හේතු නිසා හෝ මේ ආකර්ෂණයට බාධාවෙලා තියෙනවානම්, අපි ආසයි ආයෙත් මේ මනුෂ්‍ය ආකර්ෂණයට ඉඩ දෙන්න. සංස්කෘතියක් කියන්නේ මෙහෙම ආකර්ෂණයකට තියෙන නිදහසට කාරණයක් වෙන්න ඇති.

මිනිස්සුන්ගෙන් ඈත් ඈත්වෙන්න ඈත් වෙන්න අපිට මිනිස්සු ගැන තියෙන ආදරය වැඩිවෙනවා. ඒක හරියට ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට ලංකාවට තියෙන ආදරේ වැඩිවෙනවටත් වඩා වැඩි දෙයක්. ඒත් ලෝකේ මනුෂ්‍යයෙක්ට ලෝකෙ තියෙන උතුම් දේ, ඒ කියන්නෙ තවත් මනුෂයෙක් ගැන තියෙන ඇල්ම, ආකර්ෂණය දහසක් අවශේෂ කාරණා හින්දා වලලන්න උත්සාහ කරනවා. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. භෞතික ආකර්ෂණයට බාධක තබන නූතන ලෝකේ වර්චුවල් විදිහට මිනිස්සු එකිනෙකාට ආකර්ෂණය වෙනවා. ෆේස්බුක් අපේ ජීවිතේ වැඩිම කාලයක් අත්පත්කරගන්නේ මේ හිස්කම හින්දා. බිස්නස් වැඩ කතාකරන්න ඕන ෆෝන්ලයින් එකේ පැයගණන් එල්ලිලා ඕපාදූප කියවනවා. මනුෂ්‍ය ආකර්ෂණය කියන්නේ නොසිදෙන දිය උල්පතක් වගේ. කොච්චර කොටුකරලා නවත්තන්න හැදුවත් කොහෙන්හරි උතුරලා යනවා.



දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කොටුකරලා හිරකරපු මනුස්සකමට දෝරගලන්න ඉඩදෙන්න. අහගෙන ඉන්න, කතාකරන්න, හිනාවෙන්න, කෑගහන්න අපි එකතුවෙමු. කොටුකරලා හිරකරපු අපේ ජීවිතේට ඕන විදිහට ගලාගෙන යන්න දවසකට ඉඩදෙමු. ජීවිතේට ඉඩදෙමු.





No comments:

Post a Comment