Friday, September 4, 2015

අගෝරා : මේ කවුද, මොනවද කරන්නේ ?

 

 

ලන්ඩන් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් තමන්ට අතහැරුණු, අල්ලගන්න බැරි හෝ ගලපා ගන්න බැරි සංස්කෘතික ජීවිතයත් එක්ක පෙනෙන, නොපෙනෙන අරගලයක් තියනවා. ලන්ඩය වගේ ලෝක සංස්කෘතික කේන්ද්‍රයක ජිවත් උනත් අපි තාමත් උත්සහ කරන්නේ  අපේකම් උඩ දමමින් අපි කැමති, අපට පහසු අපේම කවයන් ඇතුලේ සුවපහසුව ජීවත්වෙන්න. ලන්ඩනයේ මිලියන ගණනක් මිනිසුන් අතර අපි හුදකලා වෙලා යැයි ඔබත් හිතනවද ? එසේනම් අපි තදින් වසා ඇති අපේ සංස්කෘතික කවුළු අරිමු. එවිට අපිට නුහුරු, නුපුරුදු, නැවුම් අගෝරා සංස්කෘතික සුළග කවුළු අතරින් අපේ ජිවිත වලට එබී බලන හැටි විදින්න අපට හැකිවේවි. 


ජීවත්වෙනවා කියන්නේ ශරීර කූඩු සුවපහසු ලෙස නඩත්තු කරනවාට වඩා යමක් බව වටහාගත්

ලන්ඩන්වල සිටින මිනිසුන් සහ ගැහැනුන් කිහිප දෙනෙක්ගේ සාමුහික උත්සහයකින් තමයි අගෝරා සංස්කෘතික කවය බිහිවෙන්නේ. අගෝරා ශක්තිමත් වෙලා තියෙන්නේ මිනිසුන් සමග ඇතිකරගත් ඉතා සරල එහෙත් තීරණාත්මක කොන්දේසි සමුහයකින්. ඒ තමයි විවිධ ආගම්, ජාති හෝ ගෝත්‍රික සිතළු වලින් තොරව කලාව තුලින් මනුෂත්වය අත්විදීම. වාර්ගික සමගිය නම්වූ සබන්බෝල වැඩ කිඩ වලට එහා ගිහිං මිනිසුන් සතු සංස්කෘතික විවිධත්වයන් වින්දනය කිරීමට පුරුදු වීම නොහොත් ඒ සදහා මගපෙන්විමටයි අගෝරා අපි මහන්සි වෙන්නේ. මේ මහන්සිය කියන්නෙම ගැටුමක්. ඒත් බොහෝ දේවල් ගැටී අලුත් දේවල් බිහිවේවි.


ගැටුම් යනු නරක හෝ අභව්‍ය දෙයක් නෙවෙයි. ලෝකයේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඉදිරියට ගමන් කලේ සහ කරමින් සිටින්නේ ගැටුම් වලින් අනතුරුව ඉතිරුවන අළුදූලි සහ අත්දැකීම් සමගින්. සැබවින්ම සංස්කෘතිය කියන්නෙම මිනිස් ජිවිතේ ගැටීම වල අතුරු එලයක්. එහෙත් වර්තමානයේ පාරිභෝගික ද්‍රව්‍ය සහ මනුස්සකම් අතර සීමාව කුඩා වෙමින් මානුෂික මිනිසා පාරිභෝගික මිනිසෙක් දක්වා විතැන් වෙද්දී අපි බොහෝ දෙනෙක් කැමති අපට සුව පහසු නවාතැන් වල දොරගුළු වසා, දමා දැහැමෙන් සෙමෙන් කාලය කා දැමීමටයි. මෙය මිනිසා ඉදිරියේ ඇති සංස්කෘතික අභියෝගයක්. 

සැප්තැම්බර් 26 වෙනිදාට අපි පවත්වන "අගෝරා සංස්කෘතික උළෙල" කියන්නෙම මේ සංස්කෘතික ගැටුමෙ ප්‍රතිඵලයක් කියලා කවුරුහරි ප්‍රකාශකරනවනම් ඒක අසත්‍යයක් නෙවෙයි. හැබැයි ඒකට දක්වන ප්‍රතිචාරය සාධනීය නම් ගැටුමක් කියන්නේ නරක දෙයක් නෙවෙයි. සැප්තැම්බර් 26 දා මේ ගැන යම් කතාබහක් ගොඩනගාගන්න අපි උත්සාහ කරමු. එදාට, ඒකියන්නෙ සැප්තැම්බර් 26 වෙනිදාට වසර පහලවකට පමණ පසු ලංකාවේ වේදිකා නාට්‍යක් ලන්ඩන් වලට එනවා. ඒ තමයි විජිත ගුණරත්නගේ "යුද පිටියේ සවාරියක්" මේක සම්ප්‍රදායික නාට්‍ය අත්දැකීමකට වඩා වෙනස් අත්දැකීමක්. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ නම්වූ ගීත රචකයා හා විචාරකයා සමග සංගීත කතාබහක් කරන්නත් නියමිතයි. මේ සියල්ල ගැන විස්තර ඉදිරි කලාප වලිදි කතා බහ කරමු. 

එතෙක් සැප්තැම්බර් 26 දිනය මතක තබා ගන්න. මේ සියල්ල ඔබට ලැබෙන්නේ නොමිලේ. මන්ද අපි කරන්නේ  සංස්කෘතික පර්යේෂණයක් මිස ගනුදෙන්වක් නොවන නිසා !!!!!

"අගෝරා අපි" අපිව හදුන්වගන්න කැමති ආකල්ප වින්දනයට විකල්පයක් සොයන සංස්කෘතික කවයක් ලෙසටයි. විකල්පයක් වෙනුවෙන් උඩුගං බලා යෑමේ අසීරුව පිළිබද අවබෝදයක් තියෙන අපි, බිදෙන් බිද

ලන්ඩන් වල ලාංකික සමාජය වෙත මුදාහරින කළා කටයුතු අතර පොත් ප්‍රදර්ශන, චිත්‍රපට ප්‍රදර්ශන, ලාංකික කලාකරුවන් සමග සංවාදශීලි කතාබස් ඇතුලත්.

 

මේ සාමූහික ගමන බලන්න විතරක් නෙවෙයි, අපිත් එක්ක බෙදාගන්න එන්නයැයි කියන නිර්ලෝභී ආරාධනයක් විදිහට මේක බාරගන්න.

 

නැවතත් හමුවෙමු....  

මතකද තැන - Woodside Community Centre- Watford (WD25 7ET)

Friday, June 26, 2015

රත්න ශ්‍රී සහ "යුධ පිටියේ සවාරිය" සමග අගෝරා කලා උළෙල 2015

අගෝරා සංස්කෘතික කවය කෙටි කාලයක් තුළ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර නොමැකෙන සටහනක් තැබූ සංවිධානයක්. සිනමානාත්මක අත්දැකීම්, ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති රසවින්දනයට ඉඩකඩ සලසා දෙමින්, වඩාත් පර්යේෂණාත්මක මෙන්ම සංස්කෘතික රසවින්දන පරාසය පළල් කරලීම වෙනුවෙන් අගෝරා තැබූ උත්සාහයන් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදෙනවා නොඅනුමානයි.

ලන්ඩන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංස්කෘතික ජීවිතයට තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කරන බලාපොරොත්තුවෙන් සැප්තැම්බර් මස 26 සෙනසුරාදා දවස පුරා අගෝරා කළා උළෙල පැවැත්වීමට කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් පවතිනවා. දවසක් පුරාවටම Woodside Community Centre - Watford හිදී මෙය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ කලාව තුළ, විශේෂයෙන්ම ගීත රචනයෙහි සහ කාව්‍ය නිර්මාණයන්හි ප්‍රමුඛතමයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා අගෝරා කළා උළෙලට සහභාගී වීමට නියමිතයි. ලන්ඩන්හි වෙසෙන රත්න ශ්‍රී ගේ රසික රසිකාවියන්ට මේ අවස්ථාව කලකට පසුව උදාවන්නක්. ඔහු විසින් ගීත හා කාව්‍ය නිර්මාණ ගණනාවක් සමගින් දොඩමළු වීමට නියමිතයි.


ඒකාකාරී සංස්කෘතික ඉසව් වෙනස් කරන අගෝරා විසින් කලා උළෙල වර්ණවත් කිරීමට වේදිකා නාට්‍යයක් වේදිකා ගත කිරීමට නියමිතයි. ප්‍රවීන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ විජිත ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කළ "යුද පිටියේ සවාරිය"එදිනට වේදිකාගත කෙරෙනවා. මෙම වේදිකා නාට්‍ය ඉතාලියේ ජන රැගුම් මණ්ඩපය විසින් ඉදිරිපත් කරනු ලබන්නක්.

මීට අමතරව එදින දවස පුරා සංස්කෘතික උළෙලක්, චිත්‍ර ප්‍රදර්ශණයක්, පොත් ප්‍රදර්ශණයක් මෙන්ම තවත් සිත්ගන්නා සුළු කලා අංග ගණනාවක් පැවැත්වීමට කටයුතු සැළසුම්කොට තිබෙනවා.



ගෙවීයන තත්ත්පරයට පවා මිලකට යටත් ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින්ට මේ සියළු අත්දැකීම් විදීගැනීම කිසිදු මිලක් ගෙවීමට සිදුවන්නේ නැහැ. ලාභ අපෙක්ෂාවකින් තොරව ස්වේච්ඡා සහභාගීත්වයෙන් සිදුකරන මේ කටයුත්ත සදහා අවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අනුග්‍රාහකයින් සොයාගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. පුද්ගලිකව හෝ ආයතන වශයෙන් දායකත්වය දැක්වීමට කැමති අය වෙතොත් දුරකතන ඇමතුමක් මගින් හෝ ඊමෙල් මගින් තොරතුරු විමසා දැන ගත හැකියි.
වැඩි විස්තර සුදත් -07913231118 සංඛ-07588070020 සරද-07896964698
ඊමේල් - agorauksl@gmail.com

Thursday, May 21, 2015

ජීවතේ ජීවත්වෙන්න



මනුෂ්‍යයෙක්ට තියෙන්නේ තවත් මනුෂ්‍යයෙක් ගැන අසීමිත ආකර්ෂණයක්, ආදරයක්, ඇබ්බැහියක්. අන් කවර ආකාරයක් හේතු නිසා හෝ මේ ආකර්ෂණයට බාධාවෙලා තියෙනවානම්, අපි ආසයි ආයෙත් මේ මනුෂ්‍ය ආකර්ෂණයට ඉඩ දෙන්න. සංස්කෘතියක් කියන්නේ මෙහෙම ආකර්ෂණයකට තියෙන නිදහසට කාරණයක් වෙන්න ඇති.

මිනිස්සුන්ගෙන් ඈත් ඈත්වෙන්න ඈත් වෙන්න අපිට මිනිස්සු ගැන තියෙන ආදරය වැඩිවෙනවා. ඒක හරියට ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට ලංකාවට තියෙන ආදරේ වැඩිවෙනවටත් වඩා වැඩි දෙයක්. ඒත් ලෝකේ මනුෂ්‍යයෙක්ට ලෝකෙ තියෙන උතුම් දේ, ඒ කියන්නෙ තවත් මනුෂයෙක් ගැන තියෙන ඇල්ම, ආකර්ෂණය දහසක් අවශේෂ කාරණා හින්දා වලලන්න උත්සාහ කරනවා. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. භෞතික ආකර්ෂණයට බාධක තබන නූතන ලෝකේ වර්චුවල් විදිහට මිනිස්සු එකිනෙකාට ආකර්ෂණය වෙනවා. ෆේස්බුක් අපේ ජීවිතේ වැඩිම කාලයක් අත්පත්කරගන්නේ මේ හිස්කම හින්දා. බිස්නස් වැඩ කතාකරන්න ඕන ෆෝන්ලයින් එකේ පැයගණන් එල්ලිලා ඕපාදූප කියවනවා. මනුෂ්‍ය ආකර්ෂණය කියන්නේ නොසිදෙන දිය උල්පතක් වගේ. කොච්චර කොටුකරලා නවත්තන්න හැදුවත් කොහෙන්හරි උතුරලා යනවා.



දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කොටුකරලා හිරකරපු මනුස්සකමට දෝරගලන්න ඉඩදෙන්න. අහගෙන ඉන්න, කතාකරන්න, හිනාවෙන්න, කෑගහන්න අපි එකතුවෙමු. කොටුකරලා හිරකරපු අපේ ජීවිතේට ඕන විදිහට ගලාගෙන යන්න දවසකට ඉඩදෙමු. ජීවිතේට ඉඩදෙමු.





Monday, May 18, 2015

බොරදිය පොකුණ සහ අගෝරා ගැන සහෘද සටහනක්...



 අගෝරා සංස්කෘතික කවය මගින් සංවිධානය කළ "බොරදිය පොකුණ" ලන්ඩන් දර්ශනය නැරඹූ චන්දන ගුණසේකර සහෘදයාගේ ෆේස්බුක් සටහන.....

බොරදිය පොකුණ නැරඹුවෙමි........
හය හතර තේරෙන වයසේ සිටම චිත්‍රපට බැලීමේ පිස්සකුවූ මා ඒ කාලයේ නිකුත්වූ සිංහල චිත්‍රපටයක් නොබැලුවානම් ඒ ඉතාමත්ම කලාතුරකිනි. පස්වැනි මංඩලයේ සම්භාව්‍ය සිනමා පටයක් නම් අතහැරියේම නැත. 

චිත්‍රපට බැලුවා පමණක් නොව සෑම සති අන්තයකම ඒවා පිළිබඳව ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ප්‍රචාරක වැඩ සටහන් වලටද නැවත නැවත සවන් දීමටද ඇබ්බැහි වී සිටියෙමි. මේ හේතුව නිසා චිත්‍රපටවල බොහෝ දෙබස් කාණ්ඩ හා සිනමාහල් වල නම්ද මට ගිරවකුසේ කිව හැකි විය.

ලංකාවෙන් පිටවූ පසු මේ පුරැද්ද කරගන යාමට නොහැකිවු නමුදු ලංකාවට නිවාඩුවට ගියවිටදී ඒ දිනවල ප්‍රදර්ශනයවූ චිත්‍රපට නැරඹුවත් බොහෝ හොඳ චිත්‍රපට මට ගිලිහී ගොස් තිබිණි.

මේ කාලයේ නම් අන්තර් ජාලයේ හෝ සංගත තැටි මාර්ගයෙන් පැරණි චිත්‍රපට නැරඹිය හැකිවුවත් සිනමා ශාලාවකට ගොස් අඳුරේ ඉඳගෙන කඩල ඇටයක රස බලමින් විසල් තිරයක එය නරඹනවා වැනි ගතියක් ඉන් නොලැබුණි.

මෑතකදී සිට එක් එක් සංවිධානයන්ට පිං සිදුවන්නට ලංඩනයේදී සිංහල සිනමා පට නැරඹීමේ අවස්ථාව සිනමා සාංකාවෙන් පෙළෙන මා වැනිම වූ ලංඩන් වාසී සහෘදයනට උදා වුණි.

මේ ආකාරයෙන් අගෝරා කලා කවය විසින් සංවිධානය කොට ලංඩනයේ තිරගත කළ සත්‍යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ නැරඹීමේ වාසනාව අද හැන්දෑ යාමයේ මට උදාවිය.මාඉටිපේ නාමය දකිනවිට මගේ සිතට නිතැතින්ම එන එක චරිතයක් ඇත. ඒ නම් අනුරාධපුරයේදී අපට ඉංග්‍රීසි ඉගැන්වූ මාඉටිපේ සර්ය. එතුමාවත් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.

බොරදිය පොකුණ. කුමක්ද මේ බොරදිය පොකුණ. ඇයි එය ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කළේ. ප්‍රශ්න වැළකි. මා මේ සැම හිතේ තබාගෙන ශාලාවට ඇතුළු වුණෙමි.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ජීවිතය මසන යුවතියන් තිදෙනෙකු හා ගුවන් හමුදා සෙබළකු වටා ගෙතුණු කථාවේ එම යුවතියන් ගෙවන සැබෑ කටුක දිවිය මොනවට ප්‍රදර්ශනය වූණි. කලාපයේ පාලකයන්ගෙන් වන හිරිහැර මෙන්ම පළාතේ සල්ලාල තරැනයන්ගෙන් සිදුවන අඩම්තේට්ටම්වලටද මුහුණ දෙමින් ඔවුන් ගත කරන අපා දිවිය ප්‍රේක්ෂක හදවත් කම්පා කිරීමට සමත් විය.

මේ තරැණියන් ඇඳුම් මසමින් සිටින අතරතුර එකියක විසින් කටක් කා අතින් අත යවන අම්බරැල්ලා ගැටයක් තලු මරමින් අනුභව කරන තරැණියන්ගෙන් ඔවුන් ඉන්නා තත්වය ගැන ඉඟියක් ඉතා සාර්ථකව ප්‍රේක්ෂකයාට ලබාදීමට අධ්‍යක්ෂකවරයා සමත්වී තිබිණි.එමෙන්ම බාහිර පෙනුමින් තරැනයන්ගේ ආකර්ෂණයට හසු නොවූ ගෝතමීගේ ( කෞෂල්‍යා ප්‍රනාන්දු) මානසික තත්වය මනාවටම පිළිඹිබු කෙරිණි.

සුන්දර පෙනුමින් යුතු යුවතියක වූ මංගලා ( ඩිලානි අබේවර්ධන) හා විපුල අතර ආදර සම්බන්ධය නවතින තැනටම වැඩ සිද්ධ කළ ගෝතමී විපුලට ආදරය කළාය. ඒත් අවංක තරැණයකු වූ විපුල ආදරය කළේ මංගලාට පමණි.

වරක් මේ තරැණියන් පිරිස විපුල ඇතුළු තරැනයන් සමඟ විනෝද චාරිකාවක් ගිය අතර එහිදී මංගලා හා විපූල අතර ඇතිවන ප්‍රාථමික ලිංගික ඇසුරක් ගෝතමීගේ ඇසට අසුවිය.

මෙහිදී තව දුරටත් එහි යෙදීම ප්‍රතික්ෂේප කළ මංගලා ඉවතට ගියපසු ස්වයං වින්දනයෙන් තම හැගීම පිටකරගන්නා විපුලගේ ඉරියව් බලා ගෝතමීද සැගවී සිට ස්වයං වින්දනයෙන් සුරතාන්තයට පත්වූවාය. මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳ මනා පණිවුඩයක් අධ්‍යක්ෂකවරයා පේක්ෂකයාට ලබාදෙන අතර පසුතල රෑප සහ සංගීතයද එයට දුන්නේ අනගි සහයකි. මෙවැනිදේ සිදුවිය නොහැකිද?
මෙතැන් සිට විපුලගේ ආදරය ලබාගැනීමට වෙහෙසෙන ගෝතමී සහ විපුලගෙන් වෙන්වීමට උත්සහ දරන මංගලාගෙත් මානසික අරගලය නිරෑපනය කෙරැනි.

විපුල හා මංගලා බිඳවීමට කටයුතු කරන ගෝතමී මංගලා ගමේ ගියපසු විපුලට ළංවී ඔහු සමඟ යහන්ගතවීමට ඔහුව පොළඹවාගන්නීය. මේ සම්බන්ධයෙන් ගෝතමීගේ කුසට දරැවකු පිළිසිඳ ගැනෙන අතර නැවත මංගලා හා විපුල සම්බන්ධ විය. ඉන්පසු ගෝතමී විපුල පසුපස ගියද විපුල විසින් ඇයව ප්‍රතික්ෂේප කරනු ලැබුණු අතර විපුලගේ මිතුන්ගේ ඇනුම් බැනුම් හා ගැරවුම් හමුවේ ගෝතමීට තම දරැවා සහ තම දිවිය රැකගෙන පලා යාමට සිදු වුණි.

මෙහිදී ඇය වැටෙන මානසික තත්වය සහ විපුලගේ මානසික තත්වයත් ඉන්පසු හම්බන්තොට ප්‍රදේශයේ තමන්ගේ සොයුරියක ළඟ නවතින ගෝතමි හේන් වැඩ වල නිරත වෙමින් සිට දරැවා බිහිකරන අන්දමත් ඉන්පසු ඔවුන්ගේ ජීවිත ගෙවියන අන්දමත් තිරයේ දිග හැරැනි.

අවුරැදු ගණනකට පසු වුවත් බොරදිය පිරි පොකුණු මෙන් අපහැදිලිවූ ඔවුන්ගේ ජීවිතවල ඉරණම කුමක්ද? ඒ බොහෝ දිවිමංවල ඇත්තේ මතුපිට සතුටින් වැසුණු අඳුරැ පැත්තක්ද? මේ ඛේදවාචකයේ අවසානය කුමක්ද?
මෙය දස දහසක් ගෝතමීලා, මංගලාලා හා විපුලලාගේ කතාව නොවේද?

මේ සඳහා පිළිතුරැ මා විස්තර කරනවාට වඩා සිනමා පටය නරඹාම ඔබට දැනගත හැකිය. මා සියල්ලම කියන්නට ගියහොත් ඔබට මෙහි නරඹන්නට දෙයක් ඉතිරි නොවනූ ඇත. ඒ නිසා චිත්‍රපට විස්තරය මෙතැනින් නවතා මෙම සිනමා පටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්නට යෑමේදී මතුවූ ගැටලු කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුවෙමි.

මේ චිත්‍රපටය වාරණය කළේ ඇයි?

මෙහි තිබෙන ලිංගික දර්ශන සහ සමහර තැන්වලදී භාවිතා කරන භාෂාව බාලවයස්කාර පොඩි දරැවන්ටනම් යෝග්‍ය නැත. එමෙන්ම අප හැදී වැඩී ඇති සංස්කෘතිය අනුව මුලු පවුලටම එකට සිට නැරඹියද නොහැක. එය මා පිළිගනිමි. මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ආවේ ඒ හෙයිනි. එවිට පොඩි ළමුන්ට මෙය නැරඹීමට ඉඩක් නැත. ප්‍රශ්නය ඉවරය.

එහෙත් අසභ්‍යයි කියා මෙය තහනම් කොට චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයාව අධෛර්‍ය කොට විනාශ කිරීමේ තැතක්වත් තිබුණාද කියා සාධාරණ සැකයක් මට ඇතිවේ.මේ ආකාරයට කලාකරැවන් කී දෙනෙකු නම් ජීවත්ව සිටියදීම ඝාතනය කළෝද?

සුනිල් ශාන්තයන්ගේ සිට බොහෝ ගායකයින්, නිවේදකයින් , රචකයන්, නළු නිළියන් හා චිත්‍රපට අධ්‍යක්ෂකවරැ කීදෙනෙකුට නම් ශ්‍රේත්‍රය හා ලංකාවම එපාවන තැනට වැඩ සිද්ධකරේ නැතිද?
මෙය අසභ්‍යයි කීවේ කුමන සභ්‍යත්වයේ රාමුවක සිටද? ප්‍රශ්න වැලකි.

ඒ කෙසේ වෙතත් සම්භාවනීය සිනමා පටයක් නම් නැරඹීමි. හැම රංගනයකදීම මෙන්ම කෞෂල්‍යා ප්‍රානාන්දුගේ රංගනය අති විශිෂ්ටය. අනෙක් නළු නිලියන්ද විශාල සාධාරණයක් ඉෂ්ට කර ඇත. බොහෝ කලකට පසු ධර්මසිරි බංඩාරනායකයන් දැකීමද සතුටකි. එතුමා ගෝතමීගේ සැමියා ලෙස අපූරැ රංගනරක යෙදුණි. එතුමා දකිද්දී මගේ සිහියට ආවේ එතුමාගේ හංස විලක් චිත්‍ර පටයයි.

බොරදිය පොකුණ නරඹා හොඳ සිනමා පටයක් නැරඹුවා කියා තෘප්තිමත්ව ඉන්නා මේ මොහොතේ එයට අවස්ථාව සපයා දුන් අගෝරා කලාකවය පිළිබඳවත් වචනයක් සඳහන් නොකොළොත් එය මහා ගුණමකු කමක යැයි මට හැගේ.

කලාවට හිතැති සහෘදයන් පිරිසකගෙන් සැඳුම්ලත් මේ කවයෙන් කලාවේ හා සාහිත්‍යයේ උන්නතිය සඳහා කෙරෙන සේවා රාශියකි.

වරක් ඔවුන් ගීත විචාරාත්මක වැඩසටහනක් සංවිධානය කළහ. බොරදිය පොකුණ වැනි සම්භව්‍ය චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කළෝය. පාඨකයාගේ කියවීමේ රැචිය දියුණු කරනුවස් මෙතුවක් කලකට ලන්ඩනයේ සිදුනොවූ සාහිත්‍යමය කර්තව්‍යක්ද මේ වනවිට දියත් කොට ඇත. එනම් සිංහල නව කතා සහ පරිවර්තන කෘති ලංකාවෙන් ගෙන්වා ලංඩනයේ අලවි කිරීමයි. එමෙන්ම මුලු දවසක් පුරාවට පැවැත්වෙන කලා සහ සාහිත්‍ය දිනයක්ද මෙම වසරේ ජූලි 11 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත.

තව ඉදිරියට බොහෝදේ කලාවේ උන්නතියට ඔවුන් අතින් සිදුවන බැව් මට විශ්වාසය. එහෙයින් ඔවුනගේ මේ ව්‍යායාමයනට සහය වීම කලාවට ලැදි සහෘද සැමගේම යුතුකමකි.

අවසාන වශයෙන් මෙම ලිපියේ මාතෘකාව වූ බොරදිය පොකුණ නැරඹීමට අපට අවස්ථාව උදාකළ අගෝරා කලාකවයට මගේ ප්‍රණාමය පුද කරන අතර මෙම සිනමා පටයේ අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේ මහතාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්‍ය නිරතුරැවම ලැබේවා යයිද කලාවේ නාමයෙන් ප්‍රාර්ථනා කරමි..

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Friday, May 8, 2015

සංස්කෘතික ගැටුම !!!!



ටිකක් පළල් කතාබහක් වෙනුවෙන් පදනමක් සපයන කරුණු ටිකකුයි අද සටහන් වෙන්නේ. හැකිතාක් සරලව මෙහිදී සටහන් කරන්න උත්සාහ කරත් කිසියම් ආකාරයකින් සන්නිවේදනය කරන්න උත්සාහ කරන අදහස තේරුම්ගන්න අපහසු වුණා කියලා අපේ ඉදිරි සාකච්ඡාව මගහැරෙන්නේ නැහැ. මේක එක්තරා ප්‍රවේශයක් විතරයි.

හොදයි, කතාව සංස්කෘතිය. හැබැයි වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන නම් නෙවෙයි. මේත් අපේ සංස්කෘතිය තමයි, හැබැයි සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගෙ සංස්කෘතිය ගැන.

සංස්කෘතිය ගැන කියන කාරණා කිහිපයක් පහත දක්වලා තියෙනවා.

  1. සංස්කෘතිය කියන්නේ ඉතිහාසයක් විසින් සිදුකරන ගොඩනැංවීමක්. ඒක හොදයි හෝ නරකයි කියලා වෙන්කරන්න බැහැ. 
  2. සංස්කෘතිය ඇතුලෙ සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂන දෙකම ගැබ් වෙලා තියෙනවා. 
  3. නිශ්චිත භුගෝලීය සීමාවක් ඇතුලෙ කාලයක් පුරාවට සිද්ධවෙන නොයෙකුත් සමාජ කියාකාරකම් හේතුවෙන් මහා සංස්කෘතියක් බිහිවෙනවා.
  4. ඒ තුළ  දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්, පුරුදු වගේම පොඩි පොඩි සීමා මායිම් සහ භෞතික හා අභෞතික ගොඩනැගීම් ඇතුලත් වෙනවා.

මේ කතාව අපි මහා බ්‍රිතාන්‍යයට අදාළ කරල ගත්තොත්. මෙකී සහ නොකී කාරණාවන් ගණනාවක් එක්ක මහා බ්‍රිතාන්‍යයට අනන්‍යවන සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. ඒක ඒ ආකාරයෙන්ම ලංකාවටත් අදාළයි. විවිධාකාර හේතු හින්දා ශ්‍රී ලාංකිකයෝ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙනවා. එතකොට මේ සංස්කෘතික ද්විත්වයක ඉන්න ජන පිරිස් දෙකක් එකට වාසය කරනවා. එංගලන්තයෙදි ශ්‍රී ලාංකිකයින්ට පෙර බොහෝ සංක්‍රමණික ජන පිරිස් සමග ජීවත්වෙලා තිබුණ රටක්. මෙවැනි තත්ත්වයක් ඇතුලෙ වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.
  1. Multiculturalism - බහුසංස්කෘතිකවාදය - මෙතනදි බහුතර, සුළුතර සියළු දෙනාටම තම තමන්ට කැමති ආකාරයේ සංස්කෘතික භාවිතාවක නිරතවිය හැකියි.
  2. Cultural Assimilation - සංස්කෘතික සමග්‍රහණය - මෙමගින් සිද්ධවන්නේ සංස්කෘතීන් ද්විත්වයක් අතරින් ප්‍රධාන එක විසින් අනෙක් සංස්කෘතිය උරාගනු ලැබීමයි. මෙය බලහත්කාරයෙන් හෝ ස්වභාවයෙන්ම සිදුවිය හැකියි. මැදපෙරදිග රටවලදි මෙය බලහත්කාරයෙන් සිදුවන බව දකින්න පුළුවන්. සංක්‍රමණිකයින්ට අදාළව ගත්කළ දෙවන හෝ තෙවන පරම්පරාවලදි මහා සංස්කෘතියට සමග්‍රහණය වන ආකාරයක් දකින්න පුළුවන්.
  3. The Melting pot නොහොත් සමජාතීකරණය කියන්නේ සංස්කෘතීන් කිහිපයක් මිශ්‍රවෙලා එක් සංස්කෘතියක් බවට පත්වීම. ඉංග්‍රීසි භාෂාවට ඉන්දියානු, අප්‍රිකානු භාෂාවන්ට අයත් වචන එකතුවී ඉංග්‍රීසි සංස්කෘතිය වෙනස්වීම මේ සංකල්පය තුළින් අදුරගන්න පුළුවන්.

තව තවත් වර්ගීකරණයන් බොහෝමයක් අදුරගන්න පුළුවන් වුණත් සංක්‍රමණික පරම්පරාවල පළමු පිරිස් නියෝජනය කර අය විදිහට පැනනගින ගැටළු මේ සංකල්ප ඇසුරෙන් අදුරගන්න පුළුවන්. දෙමාපිය ඇසුර සහ අධ්‍යාපනය වැනි තීරණාත්මක කාලපරිච්ඡේදයක් එක සංස්කෘතියක් තුළත් ජීවිතේ අනෙක් කාලය ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් තුළ ජීවත් වීමට සිද්ධවෙලා තිබීම අවසාන වශයෙන් සංස්කෘතික ගැටුමක් බවට පරිවර්තනය වෙන්න බොහෝ ඉඩකඩ වැඩියි.

සැප්තැම්බර් 26 අගෝරා සංස්කෘතික උළෙල කියන්නෙම මේ සංස්කෘතික ගැටුමෙ ප්‍රතිඵලයක් කියලා කවුරුහරි ප්‍රකාශකරනවනම් ඒක අසත්‍යයක් නෙවෙයි. හැබැයි ගැටුමක් කියන්නේ නරක දෙයක් නෙවෙයි, ඒකට දක්වන ප්‍රතිචාරය සාධනීය නම්. ජුලි 11 කලින් මේ විෂය ඇතුලේ යම් කතාබහක් ගොඩනගාගන්න අපි උත්සාහ කරමු.

Tuesday, May 5, 2015

ලන්ඩන් වලට පොත් ගෙනාව අගෝරා.....


පොත් කියවනවා කියන එක මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය එක්ක හරිම තදින් බැදිලා තියෙන දෙයක්. පොතත් එක්ක යටිපෙළින් සංස්කෘතියක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.
ලන්ඩන් නුවර පොත් වලට හරිම පොහොසත් තැනක්. ඒක හින්දා ඉංග්‍රීසි වගේම ලෝකේ තියෙන ඕනෑම භාෂාවක පොතක් හොයාගන්න අමාරු තැනක් නෙවෙයි. හැබැයි ලාංකිකයින් විසින් ලියන ලද සිංහල භාෂාවෙන් හෝ දමිළ භාෂාවලින් මුද්‍රිත පොත්පත් හොයාගන්න නිශ්චිත ක්‍රවේදයක් මේ වන විට නැහැ. අන්තර්ජාලයේ ව්‍යාප්තිය වගේම යොදන පිරිවැයිට සාපෙක්ෂ ලාභයක් හොයාගන්න බැරිවීම මුද්‍රිත පොත්පත් ලංකාවෙන් පිටතට නොඑන්න බලපා තිබෙන බව පැහැදිලියි. මෙතෙක් කාලයක් සතිපතා පැමිණි ජාතික පුවත්පත් පවා මේ ‍වන විට එංගලන්තයට රැගෙන ඒම අතහැර දමා තිබෙනවා.



එංගලන්තයේ වෙසෙන ලාංකිකයින් ඉල්ලුම් සැපයුම් න්‍යායට හසුවීමේ පාපය නිසාවෙන් දේශීය පොත්පත් කියැවීමේ අවස්ථාව අහිමි‍වන විට ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව නොහැසිරෙන, ලාභය උපරිම කිරීමේ වෙළද අරමුණක් රහිත අගෝරා සංස්කෘතික කවය එංගලන්තයට ලාංකික පොත්පත් රැගෙන ඒම ආරම්භ කොට තිබෙනවා‍. මගහැරයා නොහැකි මූල්‍ය අපහසුතා මධ්‍යයේ වුවත් අවම තරම් මිලකට ඒවා ලන්ඩන් ලාංකිකයින්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

පසුගියදා අවසන් වුණු ලන්ඩන්හි හවුන්ස්ලෝ සහ කින්ස්බරි යන අවුරුදු උත්සව වලදි තෘප්තිමත් විය හැකි ආකර්ශනයක් පොත්වෙනුවෙන් ලැබුණු බව කිවයුතුමයි.

සාහිත්‍ය උළෙලක් දක්වා අගෝරා ගමන් කරන්නේ මෙවැනි පියවර තබමින්. සැප්තැම්බර් 26 දවසම ඒ වෙනුවෙන් වෙන්කරාට පසුතැවීමක් නොවෙන්න මේ අත්දැකීම් හේතුවෙන බව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.

Sunday, May 3, 2015

මතකද අගෝරා......

මතකද 2014 ජුලි මාසේ 12 අගෝරා සංස්කෘතික කවයේ පළමු උත්සාහය එළිදැක්වුණු දවස?



එදා ආධුනික ලෙස වුණත් අගෝරා වේ උත්සාහය අලුත් වෙනසකට කියන එක ‍ටිකක් හරි පෙන්නුම් කරන්න ඇති. සාම්ප්‍රදායික වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය අතර තියෙන පරතරය නිම කරලා කලාකටයුත්තක් වෙනුවෙන් සාමූහික සහභාගීත්වයක් වෙනුවෙන් වන අත්හදාබැලීමක් තමයි එදා ආරම්භ වුණේ. මේ තියෙන්නේ තියෙන්නේ ඒ ගැන ලියැවුණු සටහනක්.

එදිනෙදා ජීවිතයේ දහසස් වැඩ කටයුතු මැද, ස්වේච්ඡා සහභාගීත්වයක ඵලයක් වුණු අගෝරා හි දෙවැනි උත්සාහය වුණේ ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" සිනමා පටය ප්‍රදර්ශනය.



වානිජ පරමාර්තයකින් තොරව ඉතා අඩු මුදලකින් උසස් සිනමා රසවින්දනයක් ලබාදීමේ අරමුණෙන් සිද්ධ වු‍ණු මේ සිනමා දර්ශණයට ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබීම අගෝරාහි තවත් ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් ප්‍රසන්න විතානගේ මහතාට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන.

ජනප්‍රිය කලාවෙන් මදක් බැහැරව ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින්ගේ රසවින්දනයේ මානයන් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව සංවිධානය කළ ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාගේ චිත්‍ර රසවින්දන වැඩසටහන එක්තරා ආකාරයක නැවුම් බවක් මෙන්ම අනපෙක්ෂිත ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්කළ තවත් සුවිශේෂී වැඩසටහනක්.



‍හෙමින්, ඒත් නිශ්චිත අදහසක් සහ තේමාවක් ඔස්සේ යන ගමනක ඉදිරියට එන ඊළග පියවර තමයි සත්‍යජිත් මායිටිපේ ගේ "බොරදිය පොකුණ" සිනමා දර්ශනය.







අත්හදාබැලීම්, පර්යේෂණ, අලුත් මානයන් විවර කරන උත්සාහයන් අතරේ අගෝරා විසින් මීළගට අතගසා තියෙන්නේ පරිමාණයෙන් ටිකක් විශාල වැඩකට. මීට පෙර අපි විසින් ලබාදුන් අත්දැකීම් වලින් වෙනස් වින්දනයක රසක් දැනුනානම් මුලින්ම කියන්න තියෙන්නේ වෙන්කරලා තියාගන්න මෙන්න මේ දවස


 සැප්තැම්බර් 26  සෙනසුරාදා...... 

 

වෙලාවක් දාන්නේ නැත්තේ මේ වැඩේට දවසම යන හින්දා. ආයතන වෙනුවෙන්, පවුල වෙනුවෙන්, සල්ලි වෙනුවෙන්, යාළුවෝ නෑදැයෝ වෙනුවෙන් වෙන්කරලා තියෙන දවස 363න් දවසක් තමන්ම වෙනුවෙන් වෙන්කරගමු.