Friday, June 26, 2015

රත්න ශ්‍රී සහ "යුධ පිටියේ සවාරිය" සමග අගෝරා කලා උළෙල 2015

අගෝරා සංස්කෘතික කවය කෙටි කාලයක් තුළ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර නොමැකෙන සටහනක් තැබූ සංවිධානයක්. සිනමානාත්මක අත්දැකීම්, ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති රසවින්දනයට ඉඩකඩ සලසා දෙමින්, වඩාත් පර්යේෂණාත්මක මෙන්ම සංස්කෘතික රසවින්දන පරාසය පළල් කරලීම වෙනුවෙන් අගෝරා තැබූ උත්සාහයන් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදෙනවා නොඅනුමානයි.

ලන්ඩන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංස්කෘතික ජීවිතයට තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කරන බලාපොරොත්තුවෙන් සැප්තැම්බර් මස 26 සෙනසුරාදා දවස පුරා අගෝරා කළා උළෙල පැවැත්වීමට කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් පවතිනවා. දවසක් පුරාවටම Woodside Community Centre - Watford හිදී මෙය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ කලාව තුළ, විශේෂයෙන්ම ගීත රචනයෙහි සහ කාව්‍ය නිර්මාණයන්හි ප්‍රමුඛතමයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා අගෝරා කළා උළෙලට සහභාගී වීමට නියමිතයි. ලන්ඩන්හි වෙසෙන රත්න ශ්‍රී ගේ රසික රසිකාවියන්ට මේ අවස්ථාව කලකට පසුව උදාවන්නක්. ඔහු විසින් ගීත හා කාව්‍ය නිර්මාණ ගණනාවක් සමගින් දොඩමළු වීමට නියමිතයි.


ඒකාකාරී සංස්කෘතික ඉසව් වෙනස් කරන අගෝරා විසින් කලා උළෙල වර්ණවත් කිරීමට වේදිකා නාට්‍යයක් වේදිකා ගත කිරීමට නියමිතයි. ප්‍රවීන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ විජිත ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කළ "යුද පිටියේ සවාරිය"එදිනට වේදිකාගත කෙරෙනවා. මෙම වේදිකා නාට්‍ය ඉතාලියේ ජන රැගුම් මණ්ඩපය විසින් ඉදිරිපත් කරනු ලබන්නක්.

මීට අමතරව එදින දවස පුරා සංස්කෘතික උළෙලක්, චිත්‍ර ප්‍රදර්ශණයක්, පොත් ප්‍රදර්ශණයක් මෙන්ම තවත් සිත්ගන්නා සුළු කලා අංග ගණනාවක් පැවැත්වීමට කටයුතු සැළසුම්කොට තිබෙනවා.



ගෙවීයන තත්ත්පරයට පවා මිලකට යටත් ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින්ට මේ සියළු අත්දැකීම් විදීගැනීම කිසිදු මිලක් ගෙවීමට සිදුවන්නේ නැහැ. ලාභ අපෙක්ෂාවකින් තොරව ස්වේච්ඡා සහභාගීත්වයෙන් සිදුකරන මේ කටයුත්ත සදහා අවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අනුග්‍රාහකයින් සොයාගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. පුද්ගලිකව හෝ ආයතන වශයෙන් දායකත්වය දැක්වීමට කැමති අය වෙතොත් දුරකතන ඇමතුමක් මගින් හෝ ඊමෙල් මගින් තොරතුරු විමසා දැන ගත හැකියි.
වැඩි විස්තර සුදත් -07913231118 සංඛ-07588070020 සරද-07896964698
ඊමේල් - agorauksl@gmail.com